ඔයාට ලියුමක්

ඔයාට ලියුමක්

ආයුබෝවන්!

නෑ නෑ… කියවන එක නවත්තන්න එපා. පටන්ගත්ත එක දිගටම කියවගෙන ගියාට කමක් නෑ. මම ඒකට කිසි බාධාවක් කරන්නෙ නෑ. මට ඕන වුනේ ඔයා මේ ලියුම කියවන බව මම දන්නවා කියලා පෙන්නන්න විතරයි.

[සමහරවිට ඔයාට හිතෙයි මේ ලියුමේ කිසි අගක් මුලක් නෑ කියලා. ඒකට කමක් නෑ - මම ලියන්නේ අදහස් හිතට එන පිළිවෙලට මිස අගක් මුලක් ගැන හිතලා නෙවෙයි]

මම උනන්දුවෙන් කවි, කතා එහෙම ලියන්න පටන්ගන්නකොට මට හැට පැනලා. ඔයා කියවන මේ ලියුම ලියන්න පටන්ගත්තෙත් දැන් ටික කාලෙකට ඉස්සර. ඇත්තටම ඔයා ගැන හිතන්නත් ඉස්සර. හැබැයි ලිව්වේ ඔයාට කියවන්න මයි - ඒකත් ඇත්තටම ඇත්ත. මට තේරෙනවා මා හඳුනන්නෙ නැති නිසා ඔයාට මේක විස්වාස කරන්න අමාරු බව. මම ඒක තේරුම් කරලා දෙන්න උත්සාහ කරන්නම්.

මගෙ නම ගම වැදගත් නෑ. ඕන නම් මට ලේසියෙන්ම බොරු නමක් ගමක් දෙන්න පුළුවන්. ඔයාට දැනගන්න විදිහක් නෑ මම ඒ දෙන්නේ ඇත්ත නම් ගම්ද කියලා. නමුත් නමක් ඕනම කියලා හිතෙනවානම් මගෙ නම ‘ටොම් බංඩා’ කියලා හිතාගන්න. ඒ නම පෙර අපරදිග දෙපැත්තටම හරියනවා, මං වගේම.

ඔයාගෙ නම ගැන විවාදයක් නෑ. ඔයා ඔයාගෙ උප්පැන්න සහතිකේ නම විතරක් නෙවෙයි, දෙමව්පියෝ ආදරේට දීපු නම්, ඉස්කෝලේ යන කාලේ තිබුන නම් වානම් එහෙමත් දන්නවා. ඒවා මතක් කරලා ඔයා ලජ්ජා කරන්න මගෙ අදහසක් නෑ. ඇත්තටම ඒ අපනාම ගැන ලජ්ජා වෙන්ට කිසිම හේතුවක් නෑ. ඔයාගෙ නම් වලට වඩා කැත අපනාම තව කී දෙනෙකුට තිබුනද? ඊටත් වැඩිය ඒ සමහර ඒවා හරි නපුරුයි නේද? ඒත් දැන් ඒවා පාවිච්චි වෙන්නෙම නෑ. කාලයක් යනකොට තේරෙනවා ඒ දවස්වල යාළු, තරහ, මෝඩ, දක්ෂ යයි හිතපු අයත් ඔයා වගේමයි කියලා. ඉස්සර ‘මාර පොහොසත්’, ‘හරිම ගොඩේ’ කියපු අය ගැන ඒ වචන දැන් පාවිච්චි කරන්න බෑ නේද? ඒ ගැන ටිකක් හිතලා බලන්න වටිනවා. ඔයා වෙනස්වෙලා ඒ තරමට.

මාත් එහෙමයි.

මට හිතෙනවා ඒ දවස්වල මං හිටපු ලෝකේ දැනට වඩා හාත්පසින්ම වෙනස් එකක් කියලා. මාත් එක්ක ඉස්කෝලේ හිටපු අනික් අය මං වගේ නෙවෙයි. උන් හැම අතින්ම මට වඩා වෙනස් කියලා මම හිතුවේ. මගෙ ‘හොඳම යාළුවා’ වුනත් මං වගේ නෙවෙයි. පංතියේ තිස් දෙනෙක් හිටියානම් අපි ලෝක තිහක ජීවත්වුනේ. නමුත් දැන් මට එහෙම විශාල වෙනස්කම් පෙනෙන්නෙ නෑ. අපි සේරම එකම ලෝකෙක ඉන්නේ. ගෙවන්නේ එකම ජාතියේ බිල්; පොඩිවුන්ට කියන්නේ එකම ජාතියේ බොරු; ජීවත්වෙන්නේ එකම ජාතියේ අනාගතයක් බලාපොරොත්තුවෙන්. අපි අතරින් සමහරු අනික් අයට වඩා සාර්ථකව අනාගතය ගොඩනගා ගත්ත බව ඇත්ත. නමුත් ඒ සාර්ථකත්වය පොඩි කාලේ වෙනස් මත ගොඩනැගුන බවක් පැහැදිළිව පෙනෙන්නෙ නෑ.

මං හිතන්නේ ගඟේ පහලට ඇදෙන බොරළු කැට ක්රමයෙන් ගෙවී වටකුරු වෙනවා වගේ අපිත් වයසට යනකොට අවට ලෝකෙට ගැලපෙන්න හැඩ ගැහෙනවා. සමහර බොරළු කැට අනික් ඒවාට වඩා ඉක්මනින් ගෙවෙන බව ඇත්ත, නමුත් කොයි තරම් වෙනස් වුනත් ඒ සේරම අන්තිමට වටකුරු වෙන්න තමා බලන්නේ.

‘ලොවින් එකෙක් එක දේකට වෙයි සමත’ කියන කතාව අපිට නිතරම ඇහෙනවා. ඒ කියමන ගැන වැඩිපුර නොහිතාම අපි ඒක ඇත්ත කියලා පිළිගන්නවා. හැබැයි ඊටත් වඩා හොඳයි කියලා මට හිතෙන්නේ ‘හැම එකාම බොහෝ දෙයට වේ අසමත්’. පළමු කියමනට වඩා දෙවනි කියමන ඇත්ත කියලා මට හිතෙන්නේ.

ඔයා ‘කවි ලියන්ට දක්ෂයි’ කීමේ තේරුම ඔයා ක්රිකට් ගහන්ට, සම්බල් හදන්ට, ගස් නගින්ට, චීන බාසාව කතා කරන්ට, මැනික් ගරන්ට… මේ වගේ සිය ගණනක් දේ වලට දක්ෂ නෑ කියලා වෙන්ට පුළුවන්.

මාත් එහෙමයි.

හැබැයි අපි දෙන්නම සෑහෙන්ට සතුටෙන් ජීවිතේ ගෙවනවා. කොයි තරම් අදක්ෂ වුනත් අපිත් සතුටෙන් ’ඔහේ ඉන්නවා’. හැබැයි ‘ඔහේ’ කියන්නේ කොහෙද කියලා අපි දන්නෙ නෑ නේද? ඒ ගැන මගෙ අදහසක් නම් තියෙනවා හැබැයි ඔයාට ඒක අල්ලන්නෙ නැතිවෙයිද දන්නෙ නෑ. මගෙ අදහස අඩියෙන් අඩියට පිරික්සලා බැලුවොත් මෙහෙමයි..

ඔයා ජීවත්වෙන්නේ කොහෙද? ඔයාගෙ ශරීරේ තියෙන තැන ඔයා දන්නවා, ලෝකේ වෙන කාටවත් වැඩිය හොඳින්. උදේ නැගිටපු වෙලාවේ පටන් ආපසු නින්දට යන තුරු ඇඟ තිබූ තැන් ඔයා දන්නවා (මතකය හොඳ නම්!). නින්දෙදිත් නිදාගන්න තැන දන්නවා. ඒ අනුව දවස පුරා ඔයාගෙ භෞතික ශරීරය කොහෙද කියලා විස්තර සහිතව කියන්න ඔයාට පුළුවන්. නමුත් ඔයාගෙ සම්පූර්ණ ජීවිතේ ඒක නෙවෙයි නේද?

ශරීරය හවස තේ බොන වෙලාවේ හිත කොහෙද?

ඔයාගෙ හිත පුදුම ‘අවයවයක්’ - ශරීරෙට යන්ට බැරි ගමන් හිත ලේසියෙන්ම යනවා. ඇඟ කුස්සියට යන්ට ඉස්සර හිත කුස්සියට ගිහින් හාලුයි පරිප්පුයි උයන්න පටන්ගන ඉවරයි. වේගයෙන් විතරක් නෙවෙයි හිත ශරීරෙට වඩා බලවත් වෙන්නේ. පොල් ගස් නගින්න, මුහුදු පතුලට කිමිදෙන්න, තප්පරෙන් වෙන රටකට යන්න… ශරීරෙට කොහොමටත් බැරි දේ හිතට බොහොම පහසුයි.

ඊටත් වැඩිය බලයක්, නවීන විද්යාව අනුව ශරීරෙට කිසිම දාක තිබිය නොහැකි බලයක්, හිතට තියෙනවා. ඒ අතීතෙටයි අනාගතේටයි යෑමට හැකිවීම.

අද ඇඟ ඉබ්බා වගේ ගාටනකොට හිත අකුණක් වගේ ලෝකේ වටේ ගිහින් ඉවරයි, සමහරවිට පෙරේදා!

හිතට මේ අනාගතේටයි අතීතෙටයි යන ගමන - ඒ කියන්නේ කාල තරණය - එක් අතකින් සාමන්ය භෞතික ශරීරයේ ගමනක් වගේමයි. ඔයා එලියේ සාලේ ඉඳන් කුස්සියට ගියාම අවට තියෙන දේ වෙනස්. වේවැල් පුටු වෙනුවට ලිප; පවුලේ පින්තූර වෙනුවට බිත්තියේ එල්ලෙන්නේ කැලැන්ඩරේකුයි කෑම වහන කූඩෙයි. වෙන එකක් තියා කාමරේ ඇහෙන සද්ද, දැනෙන සුවඳ එහෙමත් වෙනස්.

දැන් අපි මේ ගමනට කාල තරණය එකතු කරමු. අපි මේ සැරේ යන්නේ අද ඉස්සරහ සාලේ ඉඳන් මීට අවුරුදු සෑහෙන ගණනකට ඉස්සර කුස්සියට.

මේ අලුත් පරිසරයේ ගෑස් ලිප වෙනුවට තියෙන්නේ දර ලිපක්. දර, පොල් ලෙලි, පොල් කටු එහෙම පෙනෙන්න තියෙනවා කුස්සියේ දොරට පිටින්. ඉවුම් පිහුම් වලට මැටි හට්ටි මුට්ටි ගොඩ ගහලා… කුස්සියේ ඇහෙන සද්ද, දැනෙන සුවඳ ඒ කාලයේ එවා මිස අද දවසේ ඒවා නෙවෙයි. ඒ සද්ද/සුවඳ, දැන් නැති, ඉස්සර කාලෙකින් එන ඒවා.

කුස්සියේ පොඩි බංකුව උඩ වාඩිවෙලා හිනා වෙවී කතා කරකර ඉන්න අයත් දැන් අපි අතර නෑ.

මමත් එහෙම ගමන් යනවා - නිතරම වගේ.

මේ ලියුමෙන් තේරෙනවා නේද ඔයයි මමයි ‘හඳුනන්නෙ නැති’ වුනාට අපි එක් එක්කෙනා ගැන බොහොම දේ දන්නවා කියලා.

ලෝකේ අනික් අයත් එහෙමමයි.

ජයවේවා!